බෝධීය සුරකිමු

සිරි සම්බෝධිය අවට මහ පොලොව සුවපත් කර ‘සිරි සම්බෝධිය’ සුවපත් කරන ‘බෝමළුව හෙළගම’

බෝමළුව හෙළ ගම’ බිහි වෙන්නේ උරුවෙල බෝමළුව පිහිටි ‘සිරි සම්බෝධියට’ දිර්ඝායුෂ පතා බෝධින්වහන්සේ වැඩ වසන බෝමළුව ප්‍රදේශයේ මහ පොලොව සුවපත් කර, ඒ අවට ජල මුලාශ්‍ර පිරිසිදු කර ප්‍රකෘතිමත් කිරීමටය. ඒ මගින් බෝධීන් වහන්සේට චිරාත් කාලයක් නිරෝගීව වැඩ වැසීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම මෙහි අරමුනයි.

මේ වන විට බටහිර වෙළඳ උගුලකට අසු වී, ලංකාවේ ගොවියා කර ඇති කෘෂි රශායන භාවිතය නිසා සමස්ත ලංකාවේ මෙන්ම ‘සිරි සම්බෝධිය’ අවට මහපොළොවත් දැන් විෂ වී හමාරය. මේ නිසා ලංකාවේ මනුෂ්‍යයින්, සතා සීපාවා මෙන්ම ගහ කොලත් රෝගී වී ඇත. වැව් බැදී රජරට ගොවියා, වකු ගඩු රෝගවලින්, පිළිකා වැනි බෝනොවන රෝග වලින් රෝගී ඇතිවා සේම, බෝධීන් වහන්සේලා ඇතුළු ශාඛ පද්ධතියත් දැන් රෝගී වී ඇත. මෙහි ප්‍රතිපලයක් ලෙස ‘සිරි සම්බෝධියත්’ මේ වන විට රෝගී වී ඇත. ඒ නිසා සිරි සම්බෝධියට දීර්ඝායු පතා උන්වහන්සේ සුවපත් කිරීම අපගේ ප්‍රථම කාරියයි. බෝධීන් වහන්සේලා වටේ රන් වැටවල්, ලියවැල්, මුරගල් තනන්නට පෙර බෝධීන් වහන්සේ වැඩවසන අවට පරිසරය සහ මහා පොලව සුවපත් කිරීම ප්‍රථමයෙන් කල යුතු බව අප හදුනාගෙන ඇත. මේ සදහා විසදුමක් ලෙස බෝමළුව අවට ප්‍රදේශය වස විෂෙන්, පොලිතින් සහ ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කිරීම සදහා අපි ‘බෝමළුව හෙළගම’ බිහි කීරීමේ අරමුනයි. මේ හෙළ ගම ඇති කිරීමේ මුලික අඩිතාලම දැනටමත් ආරම්භ කර ඇත.

මේ ක්‍රියාදාමය පියවර කීපයකින් ඉටු කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පලමු පියවර ලෙස බෝධීන් වහන්සේ අවට වර්ග කිලෝමීටර් 10 ප්‍රමාණයක, රශයනික පොහොර, කෘමිනාශක සහ වල් නාශක නොයොදන සහ ප්ලාස්ටික් පොලිතීන් භාවිතයෙන් තොර කලාපයක් කිරීමට කටයුතු යොදා ඇත. තවද අවට වැව් සහ ඇල වේලි පිළිසකර කර, ඒවායේ ජලයේ විෂ ඉවත් කල හැකි ජල පෙරන ජලජ ශාඛා රෝපණය කිරීමත්, මහ පොලොව නැවත ප්‍රකෘතිමත් කරන ශුද්‍ර ජීවින් බෝ කිරීමත් කිරීමට නියමිතය.

ඉදිරි පියවරවල් ලෙස ඉහත වර්ග කිලෝමීටර් 10 ප්‍රමාණය ක්‍රමයෙන් වර්ග කිලෝමීටර් 25, 50 යනාදී වශයෙන් පුළුල් කිරීම මෙහි අරමුණ වේ. මේ අනුව ප්‍රදේශයේ ගොවියන් වස විෂෙන් තොර ගොවිතැනට උද්යෝගිමත් කිරීමත්, රශායනික යෙදවුම් වලින් තොරව වගා කල හැකි වී සහ එළවලු බීජ ගැමියන්ට නොමිලයේ ලබාදීමත් සහ කන්නේට, කරනෙට, කයියට ගොවිතැන් කරන අපේ පාරම්පරික ක්‍රමවේදයන් ගැමියන්ට හදුන්වා දීමත් දීර්ඝ කාලින විසදුමක් ලෙස කිරීමට අප සැලසුම් යොදා ඇත.

මෙසේ සිරි සම්බෝධිය පත් වී ඇති රෝගී තත්වයෙන් බේරාගෙන නැවත සුවපත් කිරීමට හොදම විසඳුම, වසර 3800 පමණ පෙර බුදුන් දවස ගොදුරු ගමක්ව පැවති මේ ප්‍රදේශයේ එදා පැවති පාරම්පරික හෙළ ජීවන විද්‍යාවට පන පොවා මේ ප්‍රදේශයේ පොළොව සහ ස්වභාවික පරිසරය නැවත සුවපත් කිරීමයි. එනම් බුද්ධ කාලයේ මේ ප්‍රදේශයේ පැවති ස්වභාවික පරිසරය නැවත ආපසු ගෙන ඒමයි. ඒ සදහා අපේ සැලසුම බෝමළුව නමින් පැරණි හෙළ ගමක් බෝධිය කේන්ද්‍ර ගෙන ස්ථාපිත කිරීමයි.

මේ මගින් ඇති වන තවත් යහපත් ප්‍රතිපලයක් වන්නේ, එදා හෙළයේ පැවති නිදහස් නිවහල් සරල ජීවන රටාව ලොවේ නිවැරදි පැවැත්මට කෙතරම් වැදගත්ද යන්න මුළු ලොවටම පෙන්වා දීමයි. මෙම අදහසට කිට්ටු ගම්මානයක් Aureville නමින් දකුණු ඉන්දියාවේ දැනට ස්ථාපිත වී ඇතත්, බෝමළුව ගම ඉන් ඔබ්බට ගොස් නිවන අරමුණු කොටගෙන ජීවත් වන යහපත් සමාජයක් බිහි කිරීම පරම අභිලාශය කොට ගෙන ඇත. ඒ සදහා බුදුන් දවස මේ ප්‍රදේශයේ තිබු සමාජය, මහ පොලොව, පරිසරය නැවත සුවපත් කිරීම නිවනට පෙර ඇති කරගත යුතු නිවැරදි පැවැත්ම යලි බිහිවීමකි.

හෙළ ජීවන රටාව යනු ස්වභාවධර්මයේ න්‍යායන් සහ රිද්මයන් ඉතා ගැඹුරින් හදුනාගෙන ගොඩනැගුනු ජීවන චින්තනයකි. එය ස්වභාවික සම්පත් අවම ප්‍රමාණයක් පමණක් පරිභෝජනය කරමින් සියලු සත්වයන්ගේ ජීවත්වීමේ අයිතිය පමණක් නොව පරිසරය, ගහ කොලේ පැවැත්මට පවා ගරු කල අපුරු ජීවන විද්‍යාවකි. ඒ සමාජයේ, එදා රටේ රජතුමා ඇතුළු සියලුම රට වැසියෝ නිෂ්පාදකයන් වුහ. සියලු දෙනා තමන්ට අවශ්‍ය අහාර ද්‍රව්‍ය තමාම නිෂ්පාදනය කර ගත් අතර සමහරුන් අතර අඩු පාඩු වන දේ හුවමාරු කරගන්නා ලදී. මේ ක්‍රමයට සෑම වැසියෙක්ම, සෑම ගමක්ම ස්වයංපොෂිතය. එනිසා අද මෙන් කුඨ වෙළදපොලක් නොතිබිණි. නිවන් දැකීම තම පරම ජීවිත අපේක්ෂාව කර ගත් මේ සමාජයේ සියල්ල ඉටු වුයේ සමාජ යුතුකමක් සහ වගකීමක් වශයෙනි. ඒ යුතුකම් ඉටුකිරීම සදහා බලාපොරොත්තු වූ එකම දෙය කුසල් රැස් වීම පමණි. වෙද රාල වෙදකම් කලේත්, ගුරු ගෙදර අකුරු කලෙත්, පන්සලේ දහම් දෙසුවේත් අද මෙන් මුදලට නොව නිවන් මගට කුසල් රැස් කිරීමේ අපේක්ෂාවෙන් පමණි. එනිසා පැරණි හෙළ සමාජයේ එකිනෙකා පරයා යාමට උත්සාහ කරන තරගයක් නොමැති විය.

මේ මහා ජීවන විද්‍යාවට කන කොකා හැඩුවේ 1505 දීය. ඒ එක අතකින් කුරුසය සහ එක අතකින් කඩුව රැගෙන ආ පළමු බටහිර ආක්‍රමණය නිසාය. පෙරදිග මෙන් පුනරුපත්තිය සහ නිවන ගැන නොදත්, මරණින් පසු ස්වර්ගයට යන බවත්, ලොවේ සියලු සම්පත් බිහි වී ඇත්තේ ඔවුන්ගේ පරිභෝජනයට බව විෂ්වාස කල බටහිර රේඛිය චින්තනයෙන් අන්ධ වී සිටි පෘතුග්‍රීසීන් තම ආධිපත්‍ය අමානුෂික ලෙස ස්ථාපනය කරන්නට ඇරඹීය. ඉන්පසුව කෙමෙන් විනාශයට යමින් තිබු හෙළ ජීවන චින්තනය 1815 න් පටන් ගත් බ්‍රිතාන්‍ය යටත් විජිත රජය විසි වන සියවස වන විට ලොවෙන් අතුගා දමන්නට සමත් විය. මේ ආකාරයට අනාදිමත් කාලයක සිට පෙරදිග රටවල බිහි වී පරිසරය සහ සොභාදහම සමග එකට වෙලී විකාශය වී තිබු ජීවන චක්‍රය බිද වැටී, ඒ වෙනුවට බටහිර දේවධර්මයට අනුව සැකසුන එහෙත් අපේ මහපොළොවට පරිසරයට නොගැලපෙන ආගන්තුක ක්‍රියාන්විතයක් පෙරදිග ස්ථාපිත විය.

බටහිර ජාතින් සිතා සිටියේ මේ නිසා ලොවෙන් අතු ගා දැමුනේ ගෝත්‍රික ජන සමාජයවල වත් පිළිවෙත්, සිරිත් විරිත ගති පැවතුම් බවය, එය එසේ නොවේ, ඔවුන්ගේ අඥාන ක්‍රියාකලාපය නිසා ලොවට අහිමි වුයේ, මුළු මනුෂ්‍ය සංහතියම සතා සීපාවා ගහ කොළ ඇතුළු මුළු ලොවම පාලනය වන ස්වාභාවධර්ම නියාමනයන් පිළිබද පැහැදිලි අවබෝධයෙන් යුතුව ඒ සියල්ල සමතුලිතව පාලනය වෙන අයුරින් විවිධ ප්‍රදේශ වලට ගැලපෙන පරිදි ගොඩනගාගෙන තිබු ජීවන විද්‍යාවන්ය.

නොනිත් අශාවෙන් පෙළෙමින් කරන ලද මෙවැනි විනාශයක විපාකය වුයේ, පලමු සහ දෙවන ලෝක යුද්ධය වගේම ලොව පුරා පැතිරුණ වසුරිය වැනි වසන්ගතයන්ය.

ඊට පසුව ඇති වූ HIV වගේම වර්තමානයේ ඇති වී ඇති COVID 19 වසංගතයත්, දහසය වන සියවසෙන් ආරම්භව අද වන තෙක් මනුෂ්‍යා ගමන් කල වැරදි ගමනේ ප්‍රතිපලයකි. හෙළ භාෂාවෙන් මෙයට කියන්නේ කර්ම විපාක කියාය. මෙයට භෞතික ලෝකයෙන් බෙහෙත් සෙවීම, එන්නත් සෙවීම අඥාන ක්‍රියාවකි. මෙයට ඇති එකම පිළියම මෙය ඇතිවීමට හේතුව සොයා ඒ හේතුව ගලවා දැමීමය. අප බුදුන්ගේ ඉගැන්වීමත් එයමය. එසේ නම් මේ අද පවතින මේ වසංගත ව්‍යසනයට මෙන්ම ඉදිරියේදී ඇතිවන මෙවැනි සියලු ව්‍යසනයන්ට ඇති එකම විසදුම නොනිත් අශාවෙන් තොරව යහපත්ව ජීවත් වීමය. එනම් අප අහිමිකර ගත් අපේ හෙළ ජීවන රටාවට නැවත ආපසු ගමන් කිරීමය.

මෙම ගමේ මුදල් ඉපයීමේ හෝ ලාභ ලැබීමේ කිසිදු චේතනාවක් නොමැත. ඒ නිසා මෙම ගමේ මුදලට වටිනාකම නොමැත. ගමේ වැවෙන කිසිම බව භෝගයක් මුදලට විකුනන්නේද නැත.. මෙහි වැවෙන බව භෝග අස්වැන්න වලින් වැසියන්ගේ පරිභෝජනයට වැඩි වන සියලු දේ අවශ්‍ය ගැමියන්ට නොමිලයේ ලබා දේ. බව භෝග ආහාරයට ගන්නා කිසිදු සතකුට හිංසාවක් කිරීම හෝ පලවා හරින්නේද නැත, ඒ අපට මෙන්ම ඔවුන්ටද මේ මහා පොලවේ වැවෙන දේ වලට සමාන අයිතියක් ඇති බව අප පිළිගන්නා මුලධර්මයක් නිසාය.

අරියකම්මට්ඨාන සංවිධානය ‘බෝමළුව හෙළ ගම’ සදහා මුලික අඩිතාලම දැනටමත් දමා අවසන්. ඒ වෙනුවෙන් උරුවෙල ගම්මානයේ දනටමත් ඉඩම් කීපයක් වෙන් කරගෙන අවසන්. මෙම ගමේ මුලික වශයෙන් පහත දේ නොකඩවා ඉටු කිරීමට නියමිතය.

  1. සිරි සම්බෝධිය රැකීම
  2. සිරි සම්බෝධිය අවට මහ පොලොව සුවපත් කරන ස්වභාවික ගොවිතැන
  3. දරුවන්ට ස්වභාව ධර්මයේ නිදහසේ ජීවත් වීමට ඉඩ සලස්වමින් ඒ ඇසුරෙන් උගන්වන හෙළ තක්සලාව
  4. හෙළ වෙද ගෙදර
  5. 365 දවසේ දන්සැල
  6. අංගම් පිටිය
  7. ස්වෙච්චා ක්‍රියාකරුවන් සදහා වන පොදු නවාතැන – අම්බලම
  8. පරිභෝජනයට වැඩි එළවලු පලතුරු ගැමියන්ට නොමිලේ ගත හැකි කඩපිල

ඉහත සියල්ල කැටි කොටගෙන, නිවන් අවබෝධයට සහ නිවන පුර්ණය කර ගැනීම සදහා බුදුන්ගේ කාලයේ තිබු මානසික සහ භෞතික පරිසරය ගොඩ නගන්නට නොබෝ දිනකින් එලි දැක්වෙන හෙළ ගමේ වැඩි විස්තර;

මේ ගමේ වාසය කිරීමට තෝරා ගන්නේ, බටහිර චින්තනය පිටු දැක පැරණි හෙළයකු ලෙස තම ජීවිතය පරිවර්තනය කරගෙන සොභා දහමට අනුගතව ජීවත් වීමට කැමති වීර්යය ඇති අය පමණි. නිවන පෙරදැරි කරගෙන ජීවත් වීම මෙහි මුලික අවශ්‍යතාවයයි. මෙහි වාසය කිරීම සදහා වයස, ස්ත්‍රී පුරුෂ භාවය යනාදී කිසිවක් බාදාවක් නොවේ. මෙහි වසන සියල්ලෝ බෝමළුව සහ බෝමළුව ගම ආරක්ෂා කිරීමට කැප වී කටයුතු කරන අයවලුන් වේ. මේ ගම අවට ගම් වල වැසියන්ටද මේ ක්‍රමය හුරු කරන්නට මේ බෝමළුව හෙලගමේ වැසියෝ වෙර දරනු ඇත.

මෙහි වැසියෝ විශේෂයෙන් උඩු කය වසන්නේ නැත. එය අපේ පැරණි හෙළ ක්‍රමයයි. ඉනෙන් පහලට අඳින්නේත් අපේ මුතුන් මිත්තන් අතීතයේ ඇඳි පරිදි වන ඉතා පහසු කපු ඇදුම් කඩකි. කුඹුරට බසින්නේත් සහ හේනට යන්නෙත් අමුඩය ගසාගෙනය.

අපේ ‘බෝමළුව ගමේ’ පුද්ගලිකව කිසිදු ඉඩමක් හෝ දේපොලක් අයිති නොවන අතර, සියලු ඉඩම් සහ දේපොළ ඇත්තේ පොදු අයිතිය යටතේය. ගෙවල් තැනීම සදහා වෙන් කොට ඇති භුමි වල තමන්ට කැමති තැනක ගෙයක් සාදාගෙන ජීවත් විය හැක. අපට ඔප්පුව නැමති කොළ කැබැල්ලකින් ඉඩමකට පවතින සම්මත නෛතික රාමුවෙන් අයිතියක් තිබුනත්, අප සලකන්නේ මේ භුමිය අපට මෙන්ම මෙහි වසන වන සතුන්ට, කෘමීන්ට, කුරුල්ලන්ට, මී මැස්සන්ට, බඹරුන්ට යනදී සියලු සතුන්ට සමානව අයිති බවය. මේ භූමියට වගේම මෙහි හැදෙන බව භෝග වලටද අපට ඇති අයිතියම, අලි ඇතුන්ට, කුරුල්ලන්ට, වන සතුන්ට, කෘමීන්ට, වේයන්ට, කුබීන්ට යනාදී සියලු සතුන්ට ඇති බවය. මෙය අපට මෙනම සියලු සතුන්ට අහාර සපයන තෝතැන්නක්ය.

මෙහි තැනෙන සියලු ගොඩනැගිලි ඉදිවන්නේ ස්වභාවධර්මයට ඉකමනින් අවශෝෂනය වන ද්‍රවයන්ගෙන් පමණි. ඒ අනුව මෙහි සියලු ගෙවල් සහ ගොඩනැගිලි තනන්නේ මැටියෙන් සහ දැව වලින් පමණි. වහල වලට පොල්අතු, පිදුරු, ඉලුක් පමණක් භාවිතා කරනු ලැබේ. සියලු ගෘහ භාණ්ඩ නිමවන්නේ දැව වලින් පමණි. කිසිදු ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ හෝ ගෘහ උපකරණ කිසිවක් භාවිතා කරන්නේ නැත. අවම විදුලි අවශ්‍ය තාවය සපුරා ගන්නේ සුර්ය බල ශක්තියෙන් පමණි.

මෙහි ගොවිතැන් කරන්නේ පාරම්පරික හෙළ ක්‍රමවේදයන් අනුගමනය කරමින්ය. ඒ වගේම මෙහි භාවිතා කරන්නේ පාරම්පරික වී, එළවළු, පලතුරු සහ භෝග පමණක්ය. ඒ සදහා රට පුරා වනාන්තර වල ගොස්, දෙමුහුන් නොවූ පාරම්පරික බීජ සොයා ගැනීමත් ඉන්පසුව ඉදිරි කන්න සදහා ඒවා අප ගමේම නිෂ්පාදනය කිරීමත් මෙහි වෙසෙන වැසියන් විසින් සාමුහිකව කරන්නට නියමිතය. රශායනික පොහොර හෝ වෙනත් කිසිදු කෘමිනාශක, වල් නාශක යනාදී කිසිදු රශායනික යෙදවුම් කිසිවක් මේ ගමේ භාවිතා කරන්නේ නැත. කිසිදු ගොවිතැන් කටයුත්තකට ඉන්දන භාවිතයෙන් වැඩ කරන කිසිදු නවීන යන්ත්‍රෝපකරනයක් භාවිතා කරන්නනේද නැත. කුඹුරු සී සෑම, කමතේ කොළ පෑගීම යනාදිය සදහා යොදා ගන්නේත් අපේ පැරණි ක්‍රමයට අම්බරුවන් පමණකි. ගොවියෝ කුඹුරට බසින්නේ අමුඩය ගසා ගෙනය. කොට කලිසම්, ටී ෂර්ට්, තොප්පි, අව් කන්නාඩි මෙහි ගොවියෝ භාවිතා නොකරති.

මෙහි පාරම්පරික හෙළ ක්‍රමයට, එනම් කන්නෙට, කරනෙට, කයියට ගොවිතැන් බත් කරන්න හැකි, ඒ පිළිබද හොද දැනුමක් ඇති හෙළ ගම රාල කෙනෙකු සහ ගම මහගේ කෙනෙකු මේ හෙළ ගොවිතැන මෙහෙයවන්නට නියමිතය. ගොවිතැන පටන් ගන්නට පෙර වල් නාශක සහ රශායනික පොහොර යෙදවුම් නිසා විනාශ වී ඇති ශුද්‍ර ජීවින් නැවත පොළොවේ ඇති කිරීම. කෘමින් නැවත ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය නව දළු ශාඛ රෝපණය, සහ රශායනික යෙදවුම් නිසාම වැව්, අමුණු, ඇල දොළ වල යනාදී ස්වභාවික ජල මුලාශ්‍ර වල ඇති විෂ සහ බැර ලෝහ යනාදිය පෙරනය කර ගැනීම සදහා ඉහත විෂ සහ බැර ලෝහ පෙරන ජලජ ශාඛ ජල මුලාශ්‍ර වල වගා කිරීම යනාදී සියුලු කාර්යන් සිදු කිරීමට නියමිතය. තරුණ පිරිසට ඒ ගම පවුලෙන් හෙළ ගොවිතැනත්, හෙළ සිරිත් විරිත් සහ ඉහත සදහන් රශායනික යෙදවුම් නිසා විස වී රෝගී ඇති මහ පොලොව සුවපත් කිරීමේ ක්‍රමවේද ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්තාව ලබාදීමත් මෙහි ප්‍රධාන අරමුණක් වේ.

මෙහි වෙළද පොලක් නොමැත, වෙළද පොළ ආර්ථිකය පිටු දකින බෝමළුව ගමේ ගොවි තැනෙන් ලැබෙන කිසිදු අස්වැන්නක් මුදලට නොවිකුනනු ලබයි. ගමේ වැසියන්ගේ පරිභෝජනයෙන් සහ ඉදිරියේදී ඉදි කිරීමට නියමිත 365 දවසේ ක්‍රියාත්මක වන දන්සලේ පරිභෝජනයට වඩා වැඩිවන සියලු එළවලු සහ පලතුරු ගමේ වැසියන්ට නොමිලයේ බෙදා දීම අපේ පරමාර්ථයයි. කැමති අයට එවැනි දේ නොමිලයේ ගෙන යාමට හැකිවන පරිදි ඒවා තැබිය හැකි විකුණන මුදලාලි කෙනෙක් නැති කුඩා කඩ පිලක් ඉදිරියේදී ගමේ කොනක ස්ථාපිත කිරීමට නියමිතය.

තුන්සිය හැටපස් දවසේ පැවැත්වෙන දන්සැල” මේ පුණ්‍ය භුමියේ පවත්වන තවත් විශේෂ සේවාවකි. මෙය මේ ස්ථානයට පැමිණෙන භාවනා යෝගින්ට, ප්‍රදේශයේ ගැමියන් ඇතුළු සියලු දරුවන් යනාදී ඕනෑම අයකුට උදේ සහ දවල් අහාරය දිනපතා දන් දෙන, වසරේ 365 දවසේම නොකඩවා පවත්වන දන්සැලකි. කුස ගින්න ඇති ඕනෑම ගැමියකුට, හෝ ගමේ දරුවකුට මෙන්ම මේ ස්ථානය වන්දනා මාන කරන්නට පැමිණෙන සියලු දෙනාටම ජාති, ආගම්. කුල මල යනාදී කිසිදු බේදයකින් තොරව මේ දන් සැලෙන් තම කුස ගින්න නිවා ගැනීමට හැක.

මෙහි සැකසෙන සියලු අහාර සම්පුර්ණයෙන්ම එළවලු ශාඛ කොටස් වලින් පමණක් භාවිතා කෙරේ. තවද මෙහි තේ, කෝපි වැනි දේ භවිතා නොකරන අතර ඒ වෙනුවට බෙලිමල්, රණවරා වැනි දේශීය පාන පමණක් භාවිතා කරනු ලබයි.

මේ දන්සැල පවත්වා ගෙන යාම සදහා දිනකට රුපියල් 25 000, පමණ වැය වේ. කෙනෙකුගේ කුස ගින්න නිවන මේ මහා සත් කාර්යයට දායක වීමට කැමති ඕනෑම අයකුට දිනක් හෝ දින කීපයක් වෙන්කරගෙන මේ මහා කුසල කර්මයට දායක විය හැක. විදේශ රටවල සිටින අයටද මේ මහා පින්කමට දායක විය හැක.

මෙවැනි ගමක් ඇති කිරීමේ අරමුණ කෘමිනාශක, වල් නාශක, රශයනික පොහොර සහ අනෙකුත් රශායනික යෙදවූම් නිසා විනාශ වී ඇති මහ පොලොව සුවපත් කර ස්වභාවික ජාල මුලාශ්‍ර නැවත ප්‍රකුර්ති තත්වයට පත් කිරීමයි.

මෙම ගමේ මුලික අරමුණ වන්නේ අපේ ජීවත් වීම නිසා ස්වභාවික පරිසරයට වන හානිය අවම වන ලෙස සොබාදහමේ අවම සම්පත් ප්‍රමාණයක් පමණක් පරිභෝජනයට ගනිමින් කාබන් සෘණ (Carbon Negative) ජීවතයක් ගත කිරීමය. ඒ නිසා ගහ කොළ කැපීම, පරිසරයට ප්ලාස්ටික් සහ පොලිතින් මුදා හැරීම අනවශ්‍ය ලෙස පරිසරයේ අවට ගිනි දැල්වීම මෙහි නොකෙරේ.

ප්‍රදේශයය අවේනික වන පල රෝපණය මෙන්ම, වනයේ වෙසෙන වන අලින් සහ වන සතුන් අහාරයට ගන්නා ශාඛ වන ගත ප්‍රදේශ වල වැවීම සහ වන අලින්ට අහාර සදහා පොල් අතු, කිතුල් කොට වැනි දේ වනයට ගෙන ගොස් දැමීමටද අප විසින් වැඩ පිළිවෙලක් සැලසුම් කොට ඇත. තවද නියන් කාලයට වන සතුනට පහසුවෙන් ජලය පානය කිරීම සදහා වන මැද කුඩා විල් ඉදිකිරිම, නියන් කාලයේ ඒ පිලිබදව සොයා බලා ඒවාට අවශ්‍ය ජලය නල ළිදක් මගින් හෝ සැපයීම යනාදී දේ ඉටු කිරීමටද අප විසින් සැලසුම් යොදා ඇත.

මෙම ගමේ විදුලි අවශ්‍යතාවය සපයාගන්නේ සුර්ය බල ශක්තියෙන්ය. අහාර පිසීම කරන්නේ දර වලින් සහ බයෝ ගෑස්වලින් පමණි. බොහෝ කුටි වල රාත්‍රියේ පන්දම් ලංතෑරුම් යනාදියෙන් ආලෝකය සපයා ගැනීම කිරීමට සැලසුම් කර ඇත.

  1. සතුන් මැරීම, සත්ව හිංසනය සහ සතුන් බිය කිරීම.
  2. ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය සහ ගම තුලට ගෙන ඒම.
  3. දෙමුහුන් වී සහ බීජ වර්ග රෝපණය.
  4. රශායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක භාවිතය.
  5. මත් පැන් සහ හෙරොයින් වැනි මත් ද්‍රවය භාවිතය – (මෙම තහනමට කංසා ඇතුලත් නොවේ).
  6. මස් මලු වැනි මාංශ අහාර පිසීම සහ භාවිතය.
  7. කැලැ සහ ගස් කොළ ගිනි තැබීම.
Scroll Up